Sinhala

ශුභාරංචි වල යේසුස්ගේ නැවත නැඟිටීමේ පෙනුම

තියේ පළමුවෙනිදා අලුයම් වේලේ, අඳුර තිබියදීම, මග්දලායේ මරියා සොහොන්ගේ ළඟට ගොස්, සොහොන්ගෙයින් ගල අහක්කොට තිබෙන බව දුටුවාය.
එහෙයින් ඈ සීමොන් පේතෘස් ළඟටද යේසුස්වහන්සේ ප්‍රේමකළ අනික් ගෝලයා ළඟටද දුවගොස්: ඔවුන් ස්වාමීන්වහන්සේව සොහොන්ගෙයින් අහක්කොට ගෙනගොස් තිබේ, උන්වහන්සේව කොතැන තැබුවාද කියා අපි නොදනිමුයයි ඔවුන්ට කීවාය.
එබැවින් පේතෘස්ද අනික් ගෝලයාද පිටත්ව සොහොන් ගේ දෙසට ගියෝය.
ඔවුන් දෙදෙන එක්ව දිවුවෝය. අනික් ගෝලයා පේතෘස් පසුකර දුවගොස්, පළමුකොට සොහෙන්ගෙය ළඟට පැමිණ,
නැමී බලා, සිහින් හණරෙදි එහි තිබෙනවා දුටුවේය; නුමුත් ඇතුළට ගියේ නැත.
සීමොන් පේතෘස් ඔහුට පසුව පැමිණ, සොහොන්ගේ ඇතුළට ගොස්,
හණරෙදි තිබෙන බවත්, උන්වහන්සේගේ හිසේ තිබුණු රෙදිකඩ හණරෙදි සමඟ නැතුව වෙනම එක්තැනක අකුළා තබා තිබෙන බවත් දුටුවේය.
එකල පළමුකොට සොහොන්ගේ ළඟට ආවාවූ ඒ අනික් ගෝලයාද ඇතුළට ගොස්, දැක විශ්වාසකෙළේය.
මක්නිසාද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටින්ට ඕනෑයයි ලියනලද ලියවිල්ල ඒතාක්කල් ඔව්හු නොදැන සිටියෝය.
10 එවිට ගෝලයෝ නැවත තමුන්ගේම ගෙවලට ගියෝය.
11 නුමුත් මරියා සොහොන්ගෙය ළඟ පිටත හඬමින් සිටියාය. මෙසේ ඈ හඬන්නී, නැමී සොහොන්ගේ ඇතුළ බැලුවාය.
12 එවිට යේසුස්වහන්සේගේ ශරීරය තබනලද ස්ථානයෙහි සුදු වස්ත්‍ර හඳනාලද දේවදූතයන් දෙදෙනෙක් එක්කෙනෙක් හිස ළඟද එක්කෙනෙක් පාද ළඟද ඉඳගෙන ඉන්නවා දුටුවාය.
13 එකල ඔව්හු: ස්ත්‍රිය, මක්නිසා හඬනවාදැයි ඇගෙන් ඇසුවෝය. ඈ ඔවුන්ට කථාකොට: මාගේ ස්වාමීන්වහන්සේව අහක්කොට ගෙනගොස් කොතැන තබනලද්දේදැයි මා නොදන්නා නිසායයි කීවාය.
14 ඈ මෙසේ කියා, ආපසු හැරී, යේසුස්වහන්සේ සිටිනවා දුටුවාය, නුමුත් ඒ යේසුස්වහන්සේ බව ඈ නොදත්තීය.
15 යේසුස්වහන්සේ: ස්ත්‍රිය, නුඹ මක්නිසා හඬනවාද? කවරෙකු සොයනවාදැයි ඇගෙන් ඇසූසේක. ඈ උන්වහන්සේ උයන්ගොව්වායයි සිතා: ස්වාමීනි, නුඹ උන්වහන්සේව ගෙනගියානම්, උන්වහන්සේ කොතැන තැබුවාද කියා මට කිව මැනව, මම උන්වහන්සේ ඉවත්කොට ගෙනයමියි කීවාය.
16 යේසුස්වහන්සේ: මරියා කියා ඈට කීසේක. ඈ හැරී හෙබ්‍රෙව් භාෂාවෙන්: රබ්බෝනියි උන්වහන්සේට කීවාය; එහි අර්ථය ආචාරිනි යනුයි.
17 යේසුස්වහන්සේ: මට අත නොගසන්න; මක්නිසාද මම තවම පියාණන්වහන්සේ වෙතට නොනැංගෙමි. නුමුත් මාගේ සහෝදරයන් ළඟට ගොස්- මම මාගේ පියාණන්වහන්සේ හා නුඹලාගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි ඔවුන්ට කියන්නැයි ඈට කීසේක.
18 මග්දලායේ මරියා ඇවිත්, ඈ ස්වාමීන්වහන්සේව දුටු බවද උන්වහන්සේ ඒ දේවල් ඈට කී බවද ගෝලයන්ට දැන්නුවාය.
19 සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.
20 උන්වහන්සේ මෙසේ කියා, තමන්ගේ අත්ද ඇළයද ඔවුන්ට දැක්වූසේක. එවිට ගෝලයෝ ස්වාමීන්වහන්සේ දැක සන්තෝෂවූහ.
21 යේසුස්වහන්සේ: නුඹලාට සමාදානය වේවයි නැවතත් ඔවුන්ට කියා-පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ම මමත් නුඹලා යවමියි කීසේක.
22 උන්වහන්සේ මෙසේ කියා, ඔවුන් දෙසට හුස්ම හෙළා: ශුද්ධාත්මයාණන් පිළිගන්න.
23 යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේයයි ඔවුන්ට කීසේක.
24 යේසුස්වහන්සේ ආ කල, දොළොස් දෙනාගෙන් එක්කෙනෙක්වූ දිදිමුස් නම් තෝමස් ඔවුන් සමඟ නොසිටියේය.
25 එහෙයින් අනික් ගෝලයෝ: අපි ස්වාමීන්වහන්සේ දුටිමුයයි ඔහුට කීවෝය. නුමුත් ඔහු ඔවුන්ට කථාකොට: උන්වහන්සේගේ අත්වල ඇණ ලකුණු දැක, ඒ ලකුණුවල මාගේ ඇඟිල්ල තබා, උන්වහන්සේගේ ඇළයෙහි මාගේ අත තබා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමියි කීවේය.
26 අට දවසකට පසු උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය, තෝමස්ද ඔවුන් සමඟ සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවයි කීසේක.
27 එකල උන්වහන්සේ තෝමස්ට කථාකොට: නුඹේ ඇඟිල්ල මෙහි දිඟුකොට, මාගේ අත් බලන්න; නුඹේ අත දිඟුකොට, මාගේ ඇළයෙහි බහාලන්න. අවිශ්වාස නොකොට, විශ්වාසකරන්නැයි කීසේක.
28 තෝමස් උත්තරදෙමින්: මාගේ ස්වාමීනි, මාගේ දෙවියනියි උන්වහන්සේට කීවේය.
29 නුඹ මා දුටු බැවින් විශ්වාසකෙළෙහිය. නුදුටු නුමුත් විශ්වාසකළාවූ අය ආශීර්වාදලද්දෝයයි යේසුස්වහන්සේ කීසේක.
30 මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් යේසුස්වහන්සේ ගෝලයන් ඉදිරියෙහි කළසේක.
31 නුමුත් මේවා ලියනලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාසකරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය

යොහන් 20;1-31

න්පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟදී ගෝලයන්ට නැවත ප්‍රකාශවූසේක; උන්වහන්සේ ප්‍රකාශවුණේ මේ ආකාරයෙන්ය.
සීමොන් පේතෘස්ද දිදිමුස් නම් තෝමස්ද ගලීලයේ කානා නුවර නතානියෙල්ද සෙබදීගේ පුත්‍රයෝද උන්වහන්සේගේ ගෝලයන්ගෙන් තවත් දෙදෙනෙක්ද එක්ව සිටියෝය.
සීමොන් පේතෘස්: මසුන් අල්ලන්ට යමියි ඔවුන්ට කීවේය. අපිත් නුඹ සමඟ එමුයයි ඔව්හු ඔහුට කීවෝය. ඔව්හු පිටත්ව ගොස් ඔරුවට නැගුණෝය; නුමුත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත.
පහන්වන කල්හි යේසුස්වහන්සේ වෙරළෙහි සිටිසේක. එසේ වුවත් ඒ යේසුස්වහන්සේ බව ගෝලයෝ දැන නොගත්තෝය.
එවිට යේසුස්වහන්සේ: දරුවෙනි, නුඹලා ළඟ කන්ට යමක් ඇද්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නැතැයි කීවෝය.
ඔරුවේ දකුණු පැත්තෙන් දැල දමන්න, එවිට සම්බවේයයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ දැමූ කල, මසුන් රාශිය නිසා දැල ඇදගන්ට ඔවුන්ට බැරිවිය.
එබැවින් යේසුස්වහන්සේ ප්‍රේමකළ ගෝලයා පේතෘස්ට කථාකොට: ඒ ස්වාමීන්වහන්සේයයි කීවේය. එවිට සීමොන් පේතෘස් ඒ ස්වාමීන්වහන්සේ බව අසා, තමා ඇඳුම් නැතුව සිටි බැවින්, වස්ත්‍රයක් ඉණේ බැඳගෙන, මුහුදට පැන්නේය.
එහෙත් අනික් ගෝලයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන කුඩා ඔරුවෙන් ආවෝය; මක්නිසාද ඔව්හු වෙරළට නුදුරුව රියන් දෙසියයක් පමණ ඈත සිටියෝය.
මෙසේ ගොඩබැස්ස විට ඔව්හු එහි ගිනි අඟුරුද ඒ පිට මාලු තිබෙන බවද රොටිද දුටුවෝය.
10 නුඹලා දැන් ඇල්ලූ මසුන්ගෙන් ගෙනෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.
11 එබැවින් සීමොන් පේතෘස් ඔරුවට නැගී, ලොකු මසුන් එකසිය පණස් තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේය. එපමණ තිබුණු නුමුත් දැල ඉරුණේ නැත.
12 යේසුස්වහන්සේ කථාකොට: ඇවිත් කන්නැයි ඔවුන්ට කීසේක. ඒ ස්වාමීන්වහන්සේ බව දැන, ඔබ කවුදැයි උන්වහන්සේගෙන් අසන්ට ගෝලයන්ගෙන් කිසිවෙකුට ධෛර්ය නොතිබුණේය.
13 යේසුස්වහන්සේ ඇවිත් රොටි අරන් ඔවුන්ට දුන්සේක, එසේම මාලුත් දුන්සේක.
14 මේ වනාහි යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු ගෝලයන්ට ප්‍රකාශ වූ තුන්වෙනි වතාවය.
15 මෙසේ ඔවුන් කෑ පසු යේසුස්වහන්සේ සීමොන් පේතෘස්ට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, මොවුන්ට වඩා නුඹ මට ප්‍රේමකරනවාදැයි ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ: මාගේ බැටළුපැටවුන් පෝෂණයකරන්නැයි ඔහුට කීසේක.
16 නැවතත් දෙවෙනි වරක්: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ප්‍රේමකරනවාදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේද: මාගේ බැටළුවන් පාලනයකරන්නැයි ඔහුට කීසේක.
17 උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ-ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.
18 සැබවක් සැබවක් නුඹට කියමි-නුඹේ යෞවන කාලයේ නුඹේ ඉඟටිය බැඳගෙන කැමති තැන්වල ඇවිද්දෙහිය. නුමුත් නුඹ මහලුවූ කල නුඹේ අත් දිගුකරන්නෙහිය, වෙන කෙනෙක් නුඹේ ඉඟටිය බැඳ, නුඹ කැමති නැති තැනකට ගෙනයනවා ඇතැයි කීසේක.
19 ඔහු කොයි ආකාර මරණයකින් දෙවියන්වහන්සේව ගෞරවයට පමුණුවනවා ඇද්දැයි හඟවාදෙමින් උන්වහන්සේ මෙසේ කීසේක. මේ වචන කියා: මා අනුව එන්නැයි ඔහුට කීසේක.
20 පේතෘස් හැරී, යේසුස්වහන්සේ ප්‍රේම කළාවූද රාත්‍රිකෑමේදී උන්වහන්සේගේ ළපැත්තේ හාන්සිව සිට: ස්වාමීනි, ඔබ පාවාදෙන්නා කවුදැයි ඇසුවාවූද ගෝලයා පස්සෙන් එනවා දුටුවේය.
21 පේතෘස් ඔහු දැක: ස්වාමීනි, මොහු ගැන කිමෙක්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.
22 යේසුස්වහන්සේද: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකද? නුඹ මා අනුව එන්නැයි ඔහුට කීසේක.
23 එහෙයින් ඒ ගෝලයා මැරෙන්නේ නැත යන මේ කීම සහෝදරයන් අතරේ පතළවිය. එසේවී නුමුත් යේසුස්වහන්සේ: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකදැයි කීවා මිස ඔහු මැරෙන්නේ නැතැයි නොකීසේක.
24 මේ දේ ගැන සාක්ෂිදෙන්නාවූ, මේ දේ ලියුවාවූ ගෝලයා මොහුය. මොහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමුව.
25 යේසුස්වහන්සේ කළ වෙනත් බොහෝ දේවල්ද ඇත්තේය, ඒවා එකින් එක ලියනලද්දේ නම්, ලියනු ලබන පොත් දරන්ට ලෝකයත් මදියයි සිතමි.

යොහන් 21;1-25

එම්බා තෙයෝපිලස්නි, යේසුස්වහන්සේ තමන් විසින් තෝරාගත් ප්‍රේරිතයන්ට ශුද්ධාත්මය කරණකොටගෙන අණදුන් පසු,
ඔසවාගනු ලැබූ දවස දක්වා, උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනයකෙළෙමි.
උන්වහන්සේ වද වින්ද පසු සතළිස් දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂිවලින් තමන්ම ජීවමානව ඔවුන්ට ප්‍රකාශවූසේක.
උන්වහන්සේ ඔවුන් සමඟ රැස්ව ඔවුන්ට ආඥාකරමින්: යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන්වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න.
මක්නිසාද යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය; නුමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුයයි කීසේක.
එහෙයින් ඔව්හු රැස්වූ විට: ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.
උන්වහන්සේ මේ කාරණා කී කල්හි, ඔවුන් බලා සිටියදීම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී, ඔවුන්ට නොපෙනී ගියසේක.
10 උන්වහන්සේ යන කල, ඔවුන් ස්වර්ගය දෙස ඕනෑකමින් බලා සිටියදී, සුදු වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට,
11 ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.

ක්‍රියා 1;1-11