Sinhala

යොහන් 13-16

ස්කු මංගල්‍යයට පළමුවෙන්, යේසුස්වහන්සේ මේ ලෝකයෙන් පිටත්ව පියාණන්වහන්සේ ළඟට යන තමන්ගේ පැය පැමිණි තිබෙන බව දැන, ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළසේක.
යේසුස්වහන්සේ පාවාදෙන්ට සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණෙන්,
රාත්‍රිකෑම කද්දී, උන්වහන්සේ පියාණන්වහන්සේ විසින් තමන්ගේ අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන්වහන්සේ වෙතින් ආ බවද දෙවියන්වහන්සේ ළඟට යන බවද දැන,
රාත්‍රිකෑමෙන් නැගිට, උඩ ඇඳුම ගළවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි බැඳගත්සේක.
ඉන්පසු උන්වහන්සේ භාජනයට වතුර වත්කොට ගෝලයන්ගේ පාද සෝදන්ටත් තමන් ඉඟටියේ බැඳගත් රෙදිකඩින් පිසදමන්ටත් පටන්ගත්සේක.
උන්වහන්සේ සීමොන් පේතෘස් ළඟට ආසේක. ඔහු: ස්වාමීනි, ඔබ මාගේ පාද සෝදනසේක්දැයි කීවේය.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කුමක් කරම්දැයි දැන් නුඹ දන්නේ නැත; නුමුත් පසුව නුඹට තේරෙනවා ඇතැයි ඔහුට කීසේක.
ඔබවහන්සේට කිසිකලක මාගේ පාද සෝදන්ට නොදෙමියි පේතෘස් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම නුඹ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් නුඹට නැතැයි ඔහුට කීසේක.
සීමොන් පේතෘස්: ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත්ද හිසද (සේදුව මැනවයි) උන්වහන්සේට කීවේය.
10 යේසුස්වහන්සේද: නෑවාවු තැනැත්තේ මුළුමනින්ම පවිත්‍ර බැවින් ඔහුට ඕනෑකරන්නේ පාද සේදීම පමණක්ය. නුඹලා පවිත්‍රය, නුමුත් සියල්ලෝම නොවේයයි ඔහුට කීසේක.
11 නුඹලා සියල්ලෝම පවිත්‍ර නැතැයි කීවේ උන්වහන්සේ තමන් පාවාදෙන්නා දැනගෙන සිටි හෙයිනි.
12 මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදා තමන් ඇඳුම් ඇඳ නැවත හිඳගත්කල ඔවුන්ට කියනසේක්: මා නුඹලාට කළ දේ කිමෙක්දැයි නුඹලා දන්නහුද?
13 ආචාරිනි, ස්වාමීනි කියා නුඹලා මට කියහුය. නුඹලා කියනවා හරිය; මක්නිසාද මම එසේ වෙමි.
14 ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය.
15 මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.
16 සැබවක් සැබවක් නුඹලාට කියමි- දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නැත; පණිවුඩකාරයෙක්ද තමා යැවූ තැනැත්තාට වඩා උතුම් නැත.
17 ඉඳින් මේ දේවල් දන්නාවූ නුඹලා ඒවා කරනවා නම් නුඹලා ආශීර්වාදලද්දෝය.
18 මා කථාකරන්නේ නුඹලා සියල්ලන් ගැන නොවේය. මා විසින් තෝරාගත්තවුන් මම දනිමි. නුමුත් මාගේ භෝජනය කන තැනැත්තා මට විරුද්ධව විලුඹ එසවූයේයයි ලියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ විය යුතුය.
19 ඒක සිද්ධවුණාම මම උන්වහන්සේමයයි නුඹලා විශ්වාසකරන පිණිස ඒක පැමිණෙන්ට පළමුවෙන් මෙවක් පටන් නුඹලාට කියමි.
20 සැබැවක් සැබැවක් නුඹලාට කියමි-මා විසින් එවනලද කවරෙකු නුමුත් පිළිගන්නා මා පිළිගන්නේය; මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේව පිළිගන්නේයයි කීසේක.
21 යේසුස්වහන්සේ මෙසේ කියා ආත්මයෙන් කැලඹී සාක්ෂිදෙමින්: සැබැවක් සැබැවක් නුඹලාට කියමි-නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.
22 ගෝලයෝ උන්වහන්සේ කවරෙකු ගැන කීසේක්දෝ කියා සැකකොට ඔවුනොවුන් දෙස බැලුවෝය.
23 යේසුස්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක්වූ උන්වහන්සේ ප්‍රේමකළ තැනැත්තා මේසයෙහි උන්වහන්සේගේ ළයට හාන්සිවී උන්නේය.
24 එබැවින් සීමොන් පේතෘස් ඔහුට සංඥාකොට: උන්වහන්සේ කා ගැන කථාකරනසේක්දැයි (අපට) කියන්නැයි ඔහුට කීවේය.
25 ඔහු යේසුස්වහන්සේගේ ළයට හාන්සිව හිඳිමින්ම: ස්වාමීනි, ඒ කවුදැයි උන්වහන්සේට කීවේය.
26 එවිට යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කැබෙල්ල පොඟවා යමෙකුට දෙම්ද ඒ ඔහුමයයි කීසේක, මෙසේ උන්වහන්සේ කැබෙල්ල පොඟවා සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ට දුන්සේක.
27 කැබෙල්ල ගත් පසු සාතන් ඔහුට ආවේශවිය. එබැවින් යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ කරන දේ ඉක්මනට කරන්නැයි ඔහුට කීසේක.
28 මෙය කුමක් නිසා ඔහුට කීසේක්දැයි කෑමට හිඳගත්තවුන්ගෙන් කිසිවෙක් දැනගත්තේ නැත.
29 මක්නිසාද යූදස් මුදල් පසුම්බිය දැරූ බැවින්, මංගල්‍යයට ඕනෑ දේ මිලේට ගන්න, නොහොත් දිළිඳුන්ට යමක් දෙන්න කියා යේසුස්වහන්සේ ඔහුට කීසේකැයි සමහරු සිතුවෝය.
30 එවිට ඔහු කැබෙල්ල ගෙන එකෙණෙහිම පිටතට ගියේය. රාත්‍රියද විය.
31 ඔහු පිටතට ගිය කල යේසුස්වහන්සේ කියනසේක්: දැන් මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පැමුණුණේය, දෙවියන්වහන්සේද ඔහු තුළ මහිමයට පැමිණිසේක;
32 දෙවියන්වහන්සේ තමන් තුළම ඔහුව මහිමයට පමුණුවනසේක, උන්වහන්සේ ඔහුව වහාම මහිමයට පමුණුවනසේක.
33 දරුවෙනි, මා නුඹලා සමඟ සිටින්නේ තව ස්වල්ප වේලාවක්ය. නුඹලා මා සොයනවා ඇත. මා යන තැනට එන්ට නුඹලාට බැරියයි යුදෙව්වරුන්ට කී ලෙසම දැන් නුඹලාටත් කියමි.
34 මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.
35 නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක.‍
36 සීමොන් පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, ඔබ කොතැනට යනසේක්දැයි ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මා යන තැනට දැන් මා අනුව එන්ට නුඹට බැරිය; නුමුත් පසුව එන්නෙහියයි කීසේක.
37 පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, දැන්ම ඔබ අනුව මට එන්ට බැරි මක්නිසාද? ඔබ නිසා මාගේ ජීවිතය දෙමියි කීවේය.
38 යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹ මා නිසා නුඹේ ජීවිතය දෙන්නෙහිද? සැබැවක් සැබැවක් නුඹට කියමි-නුඹ මා නාඳුනමියි තුන්වරක් කියන තෙක් කුකුළා හඬලන්නේ නැතැයි කීසේක.

යොහන් 13;138

ඹලාගේ සිත් නොකැලඹේවා. දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකරන්න; මා කෙරේත් විශ්වාසකරන්න.
මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත; මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි.
මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.
මා යන ස්ථානයට මාර්ගය නුඹලා දන්නහුයයි කීසේක.
තෝමස්ද: ස්වාමිනි, ඔබ කොතැනට යනසේක්දැයි අපි නොදනිමුව; මාර්ගය දන්නේ කොහොමදැයි උන්වහන්සේට කීවේය.
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,
නුඹලා මා ඇඳිනගත්තා නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇත. මෙතැන් පටන් නුඹලා උන්වහන්සේව අඳුනති, දැකලාත් තිබේයයි කීසේක.
පිලිප්ද, ස්වාමිනි, පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනව, ඒ අපට ඇතැයි උන්වහන්සේට කීවේය.
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: පිලිප්, මා මෙපමණ කල් නුඹලා සමඟ සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය; එසේවී නම්-පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනවයි නුඹ කියන්නේ කෙසේද?
10 මා පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටින බව විශ්වාසකරන්නේ නැද්ද? මා නුඹලාට කියන වචන මමම උපදවා කථා නොකරමි; නුමුත් පියාණන්වහන්සේ මා තුළෙහි වසමින් ස්වකීය ක්‍රියා කරනසේක.
11 මම පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටිනසේක යන මාගේ කීම විශ්වාසකරන්න. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාම විශ්වාසකරන්න.
12 සැබැවක් සැබැවක් නුඹලාට කියමි-මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.
13 නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි.
14 නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ටකරන්නෙමි.
15 නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය.
16 මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක.
17 ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.
18 නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි.
19 තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති; නුමුත් නුඹලා මා දකින්නහුය. මා ජීවත්වන බැවින් නුඹලාත් ජීවත්වන්නහුය.
20 ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය.
21 යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.
22 ඉස්කාරියොත් නොවන යූදස් උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔබ ලෝකයාට ප්‍රකාශ නොවී අපට ප්‍රකාශවන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේට කීවේය.
23 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව.
24 මට ප්‍රේම නොකරන්නා මාගේ වචන රක්ෂා නොකරයි. නුඹලා අසන වචනය මාගේ නොව මා එවූ පියාණන්වහන්සේගේය.
25 මම නුඹලා සමඟ සිටියදීම මේ දේවල් නුඹලාට කීවෙමි.
26 නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.
27 නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.
28 මම අහක්ව ගොස් නුඹලා ළඟට නැවත එමියි මා නුඹලාට කී බව නුඹලා ඇසුවහුය. නුඹලා මට ප්‍රේමකළහු නම්, පියාණන්වහන්සේ ළඟට මා යන බැවින් නුඹලා සන්තෝෂවන්නහුය. මක්නිසාද පියාණන්වහන්සේ මට වඩා උතුම්ය.
29 ඒ දේ සිද්ධවූ කල නුඹලා විශ්වාසකරන පිණිස දැන් සිද්ධවෙන්ට පළමුවෙන් නුඹලාට කීවෙමි.
30 තවත් නුඹලා සමඟ බොහෝකොට කථා නොකරමි, මක්නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නුමුත් ඔහුට මා තුළ කිසිවක් නැත;
31 එහෙත් මේ දේ සිද්ධවෙන්නේ මා පියාණන්වහන්සේට ප්‍රේමකරන බවත් පියාණන්වහන්සේ මට අණකළ ලෙසම මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිසය. නැගිට මෙතැනින් යමුයයි කීසේක.

යොහන් 14;1-31

ම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය.
මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.
මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය.
මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.
මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.
යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.
නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.
මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.
පියාණන්වහන්සේ මට ප්‍රේමකළාක්මෙන්ම මමත් නුඹලාට ප්‍රේමකෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.
10 මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.
11 මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.
12 මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.
13 යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.
14 මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.
15 දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.
16 නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.
17 මේ දේවල් මා නුඹලාට අණකරන්නේ නුඹලා එක් එක්කෙනාට ප්‍රේමකරන පිණිසය.
18 ලෝකයා නුඹලාට වෛරවෙනවා නම්, නුඹලාට පළමුවෙන් මට වෛරවුණ බව නුඹලා දනිහුය.
19 නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.
20 දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂාකරන්නෝය.
21 නුමුත් ඔවුන් මා එවූ තැනන්වහන්සේව නාඳුනන බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල නුඹලාට කරනවා ඇත.
22 මම ඇවිත් ඔවුන්ට කථා නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔවුන්ගේ පාපය ගැන ඔව්හු නිරුත්තරව සිටිති.
23 මට වෛරවෙන්නා මාගේ පියාණන්වහන්සේටත් වෛරවෙන්නේය.
24 වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මම ඔවුන් අතරෙහි නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔව්හු මාද මාගේ පියාණන්වහන්සේද දැක වෛරවූවෝය.
25 (මෙසේ වුණේ) ඔව්හු නිෂ්කාරණයේ මට වෛරවුණෝයයි ඔවුන්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන වචනය සම්පූර්ණවන පිණිසය.
26 නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.
27 පටන්ගැන්මේ සිට නුඹලා මා සමඟ සිටි බැවින් නුඹලාත් සාක්ෂිදෙන්නහුය.

යොහන් 15;127

ඹලා බාධා නොවන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි.
ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.
ඔවුන් පියාණන්වහන්සෙත් මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත.
තවද මා විසින් මේ දේවල් නුඹලාට කීවේ ඒවායේ කාලය පැමිණි කල මා ඒවා කී බව නුඹලාට මතක්වෙන පිණිසය. මේ දේවල් පටන්ගැන්මේ සිට නුඹලාට නොකීවේ මා නුඹලා සමඟ සිටි නිසාය.
නුමුත් දැන් මා එවූ තැනන්වහන්සේ ළඟට යමි; කොතැනට යනසේක්දැයි නුඹලාගෙන් කිසිවෙක් මාගෙන් අසන්නේ නැත.
නුමුත් මා මේ දේවල් නුඹලාට කී බැවින් නුඹලාගේ සිත් දුකින් පිරී තිබේ.
එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි.
උන්වහන්සේ ආ කල, පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවාදෙනසේක.
පාපය ගැනයයි කීවේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය;
10 ධර්මිෂ්ඨකම ගැනයයි කීවේ මාගේ පියාණන්වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය;
11 විනිශ්චය ගැනයයි කීවේ මේ ලෝකයේ අධිපතියා විනිශ්චයකරනු ලැබ සිටින නිසාය.
12 නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරිය.
13 එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආකල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.
14 උන්වහන්සේ මා ගෞරවයට පමුණුවනසේක. මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේක.
15 පියාණන්වහන්සේ සන්තක සියල්ල මාගේය. එහෙයින්: උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේකැයි කීවෙමි.
16 ස්වල්ප වේලාවකින් නුඹලා මා තවත් දකින්නේ නැත; නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇතැයි කීසේක.
17 එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරෙක් ඔවුනොවුන් කථාකොට: ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නේ නැත කියාත්, තව ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇත කියාත්, මා පියාණන්වහන්සේ ළඟට යන නිසාය කියාත් මුන්වහන්සේ අපට කියන මේ දේ කිමෙක්දැයි කීවෝය.
18 එබැවින් ඔව්හු කථාකොට: ස්වල්ප වේලාවකැයි උන්වහන්සේ කියන මේක මොකක්ද? උන්වහන්සේ කියන්නේ කුමක්ද කියා අපි නොදනිමුයයි කීවෝය.
19 තමන්ගෙන් අසන්ට ඔවුන් කැමති බව යේසුස්වහන්සේ දැන, ඔවුන්ට කියනසේක්: ස්වල්ප වේලාවකින් නුඹලා මා නොදක්නහුය, නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නහුයයි මා කී කාරණය ගැන නුඹලා එකිනෙකා විචාරවුද?
20 සැබැවක් සැබැවක් නුඹලාට කියමි-නුඹලා හඬා වැලපෙන්නහුය, නුමුත් ලෝකයා ප්‍රීතිවන්නෝය. නුඹලා ශෝකවන්නහුය, නුමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය.
21 ස්ත්‍රියෙක් බිහිකරන වේදනාවෙන් සිටින කල, ඇගේ වේලාව පැමිණි නිසා ඈට ශෝකය තිබේ. නුමුත් ඈ දරුවා බිහිකළ පසු, ලෝකයට මනුෂ්‍යයෙක් උපන්නේය යන ප්‍රීතිය නිසා, වේදනාව තවත් සිහි නොකරන්නීය.
22 එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.
23 ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් නුඹලාට කියමි-පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක.
24 මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය.
25 මේ දේ උපමාවලින් නුඹලාට කථාකෙළෙමි. නුමුත් උපමාවලින් තවත් නුඹලාට කථා නොකොට පැහැදිලිලෙස පියාණන්වහන්සේ ගැන නුඹලාට දන්වන්නාවූ කාලය පැමිණෙන්නේය.
26 ඒ දවසේදී මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන්නහුය. නුඹලා උදෙසා පියාණන්වහන්සේට යාච්ඤාකරන්නෙමියි නොකියමි;
27 මක්නිසාද නුඹලා මට ප්‍රේමවූ බැවින්ද මා දෙවියන්වහන්සේ වෙතින් ආ බව විශ්වාසකළ බැවින්ද පියාණන්වහන්සේම නුඹලාට ප්‍රේමවනසේක.
28 මම පියාණන්වහන්සේ වෙතින් පිටත්ව ලෝකයට ඇවිත් සිටිමි. නැවත මම ලෝකය අත්හැර පියාණන්වහන්සේ වෙතට යමියි කීසේක.
29 උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: දැන් ඔබ උපමා නැතුව පැහැදිලිලෙස කථාකරනසේක.
30 ඔබ සියල්ල දන්නා බවද කිසිවෙකු විසින් ඔබගෙන් විචාරන්ට ඕනෑ නැති බවද දැන් අපි දනිමුව. ඔබ දෙවියන්වහන්සේ වෙතින් ආ බව අපි මෙයින් විශ්වාසකරමුයයි කීවෝය.
31 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්:
32 නුඹලා දැන් විශ්වාසකරවුද? බලව, නුඹලා එකිනෙකා තම තමාගේ ස්ථානයට විසිර ගොස්, මා තනියම අත්හැර දමන පැය පැමිණෙන්නේය; එසේය, දැනටම පැමිණ තිබේ. එසේවී නුමුත් පියාණන්වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනියම නොවෙමි.
33 මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

යොහන් 16;1-33