Sinhala

මතෙව් 21:23-23:39

23 උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව උගන්වමින් සිටියදී නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද උන්වහන්සේ ළඟට ඇවිත්: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුදැයි ඇසුවෝය.
24 යේසුස්වහන්සේ උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් එක ප්‍රශ්නයක් අසමි-නුඹලා ඒක මට කියන්නහුනම් මමද මේ කාරණා අසවල් බලයෙන් කරමියි නුඹලාට එසේම කියන්නෙමි.
25 යොහන්ගේ බව්තීස්මය වූයේ කොතැනින්ද? ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක. ඔව්හු තම තමුන් අතරේ කථාකරගෙන: ස්වර්ගයෙනැයි කියමු නම්, ඔහුව අදහා නොගත්තේ මක්නිසාදැයි අපෙන් අසනවා ඇත.
26 මනුෂ්‍යයන්ගෙනැයි කියමු නම්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සියල්ලන් විසින් සලකන හෙයින් අපි සමූහයාට භයයයි කියා:
27 අපි නොදනිමුයයි යේසුස්වහන්සේට උත්තරදුන්නෝය. උන්වහන්සේද: මේ දේවල් අසවල් බලයෙන් කරමියි මමත් නුඹලාට නොකියමියි ඔවුන්ට කීසේක.
28 නුමුත් නුඹලා සිතන්නේ කුමක්ද? එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය; ඔහු පළමුවෙනියා ළඟට ඇවිත්: පුත්‍රය, ගොස් අද මිදිවත්තේ වැඩකරන්නැයි කීවේය.
29 ඔහු උත්තරදෙමින්: නොයමියි කීවේය; නුමුත් පසුව පසුතැවිලිවී ගියේය.
30 ඔහු දෙවෙනියා ළඟට ඇවිත් එසේම කීවේය. ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, යමියි කීවේය; නුමුත් ගියේ නැත.
31 ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත කළේ කවුදැයි ඇසූසේක. පළමුවෙනියායයි ඔව්හු කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් නුඹලාට කියමි, සුංගම් අයකරන්නොත් වේශ්‍යාවොත් නුඹලාට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙති.
32 මක්නිසාද යොහන් ධර්මිෂ්ඨකම නමැති මාර්ගයෙන් නුඹලා ළගට ආවේය, එහෙත් නුඹලා ඔහු අදහා නොගත්තහුය. නුමුත් සුංගම් අයකරන්නොත් වේශ්‍යාවොත් ඔහු අදහාගත්තෝය. නුඹලා ඒ දැකත් ඔහු අදහාගන්න පිණිස පසුවවත් පසුතැවිලිවුණේ නැත.
33 තවත් උපමාවක් අසන්න: එක් ගෙදර ස්වාමියෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, එහි මුද්‍රික යන්ත්‍රයක් හාරා තබා, කොතක් බැඳ ගොවීන්ට බදුදී, වෙන රටකට ගියේය.
34 ඵල නෙළන කාලය ළංවූ කල තමාට අයිති ඵල ලබාගන්නා පිණිස ඔහු තමාගේ දාසයන් ගොවීන් වෙතට යැවීය.
35 එවිට ගොවියෝ ඔහුගේ දාසයන් අල්ලා, එකෙකුට ගැසුවෝය, එකෙකු මැරුවෝය, තවත් කෙනෙකුට ගල් ගැසුවෝය.
36 නැවතත් ඔහු පළමුවෙනි අයට වඩා වැඩි ගණනක් වෙන දාසයන් යැවීය. ඔව්හු ඔවුන්ටත් එසේම කළෝය.
37 පසුව ඔහු: මාගේ පුත්‍රයාට ඔවුන් ගෞරවකරනවා ඇත කියා, තමාගේ පුත්‍රයා ඔවුන් ළඟට යැවීය.
38 නුමුත් ගොවියෝ පුත්‍රයා දැක: මොහු උරුමක්කාරයාය; එන්න, මොහු මරා මොහුගේ උරුමය ගනිමුයයි ඔවුනොවුන් කථාකොට,
39 ඔහු අල්ලා මිදිවත්තෙන් පිටතට දමා මැරුවෝය.
40 එබැවින් මිදිවත්තේ ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරන්නේදැයි ඇසූසේක.
41 ඔව්හු කථාකොට: ඔහු ඒ නපුරු මනුෂ්‍යයන් භයානකලෙස විනාශකොට, නියම කාලවලදී තමාගේ ඵල කොටස දෙන්නාවූ වෙන ගොවීන්ට තමාගේ මිදිවත්ත භාරදෙන්නේයයි කීවෝය.
42 යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය. මෙය ස්වාමීන්වහන්සේ කෙරෙන් විය, අපේ ඇස්වලට ඒක ආශ්චර්යයක්ය යනු ශුද්ධ ලියවිලිවල නුඹලා කිසිකලක කියෙවුවේ නැද්ද?
43 එබැවින් නුඹලාට මම කියමි-දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.
44 මේ ගල පිට වැටෙන්නා පොඩිවී යන්නේය. නුමුත් ඒක යමෙකු පිට වැටුණොත්, ඒක ඔහු ධූලි මෙන් සුනුකර දමන්නේයයි කීසේක.
45 නායක පූජකයොත් ඵරිසිවරුත් උන්වහන්සේගේ උපමා අසා, ඒවා තමුන් ගැන කී බව දැන,
46 උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් උන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙකැයි සමූහයා සැලකූ නිසා ඔවුන්ට භයවූවෝය.

මතෙව් 21;23-46

සුස්වහන්සේ උත්තර දෙමින් නැවතත් උපමාවලින් කථාකොට:
තමාගේ පුත්‍රයාට සරණමංගල්‍යයක් පිළියෙළකළ එක්තරා රජෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ.
ඔහු සරණ මංගල්‍යයට ආමන්ත්‍රණය ලැබූවන් කැඳවන පිණිස තමාගේ දාසයන් යැවුවේය. නුමුත් ඔව්හු එන්ට අකමැතිවූවෝය.
නැවතත් ඔහු වෙන දාසයන් යවමින්: මෙන්න, මාගේ කෑම පිළියෙළකර තිබේ. මාගේ ගොන්නුද තර සත්තුද මරනලද්දෝය, සියල්ල සූදානම්ව තිබේ. මංගල්‍යයට එන්නය කියා ආමන්ත්‍රණය ලැබූ අයට කියන්නැයි කීවේය.
නුමුත් ඔව්හු ඒ නොසලකා, එක්කෙනෙක් තමාගේම කෙතටත්, අන් කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියෝය.
සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, නිග්‍රහකොට, මැරුවෝය.
රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය.
එවිට ඔහු තමාගේ දාසයන්ට කථාකොට: මංගල්‍යය සූදානම්කර තිබේ, නුමුත් ආමන්ත්‍රණය ලැබුවෝ සුදුස්සෝ නොවෙති.
ඒ නිසා නුඹලා මංසන්ධිවලට ගොස් සම්බවෙන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැයි කීවේය.
10 ඒ දාසයෝ මහ මාවත් වලට ගොස් තමුන්ට සම්බවූ යහපත් අයහපත් සියල්ලන් රැස්කළෝය. අමුත්තන්ගෙන් මංගල්‍ය ශාලාව පිරුණේය.
11 එහෙත් රජ්ජුරුවෝ අමුත්තන් දකින්ට පැමිණි කල, එහි මංගල්‍ය වස්ත්‍රයක් නෑඳ සිටි මනුෂ්‍යයෙකු දැක:
12 යහළුව, මංගල්‍ය වස්ත්‍රයක් නැතුව නුඹ කෙසේ මෙතැනට ආයෙහිදැයි ඔහුට කීහ. ඔහු වාක්රහිත විය.
13 එවිට රජ්ජුරුවෝ කථාකොට: මොහුගේ අත්පා බැඳ, මොහු පිටත අන්ධකාරයෙහි දමන්න; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි සේවකයන්ට කීවේය.
14 මක්නිසාද කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරාගනු ලැබුවෝ ස්වල්පයයි කීසේක.
15 එවිට ඵරිසිවරු ගොස්, කථාවෙන් උන්වහන්සේ කෙසේ අසුකරගනිමුදැයි මන්ත්‍රණයකළෝය.
16 ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමුන්ගේ ගෝලයන් උන්වහන්සේ ළඟට යැවුවෝය. ඔව්හුද: ආචාරීන්වහන්ස, ඔබ සැබෑ කෙනෙක් බවත්, දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑලෙස උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොසලකන බවත් දනිමු.
17 එබැවින් ඔබ සිතන්නේ කුමක්ද? කායිසර්ට ආදායම් දීම යුතුද අයුතුද කියා අපට කිව මැනවයි කීවෝය.
18 නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම දැන: වංචාකාරයෙනි, නුඹලා මා පරීක්ෂාකරන්නේ මක්නිසාද?
19 ආදායම් මිලය මට පෙන්වන්නැයි කීසේක. ඔව්හු මස්සක් උන්වහන්සේ ළඟට ගෙනාවෝය.
20 මේ රූපයත් සටහනත් කාගේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.
21 කායිසර්ගේයයි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ: එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි ඔවුන්ට කීසේක.
22 ඔව්හු ඒ අසා මවිතව, උන්වහන්සේ අත්හැර ගියෝය.
23 නැවත-නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු එදා උන්වහන්සේ වෙතට ඇවිත්:
24 ආචාරීන්වහන්ස, යමෙකු දරුවන් නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඔහුගේ භාර්යාව සරණ පාවාගෙන, සහෝදරයා නමට දරුවන් උපදවන්ට ඕනෑයයි මෝසෙස් විසින් කියා තිබේ.
25 අප අතරේ සහෝදරයෝ සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණු බැවින් ඔහුගේ භාර්යාව සහෝදරයාට වූවාය.
26 දෙවෙනි තුන්වෙනි සත්වෙනි තැනැත්තා දක්වාත් එසේම වූයේය.
27 සියල්ලන්ට පසු ස්ත්‍රීද නැසුණාය.
28 සියල්ලන්ම ඈ සරණ පාවාගත් හෙයින්, නැවත-නැගිටීමේදී ඈ ඒ සත්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය.
29 යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන, වරද්දාගනිහුය.
30 මක්නිසාද නැවත-නැගිටීමේදී ඔවුන් සරණපාවාගන්නේවත් සරණපාවා දෙන්නේවත් නැත, එහෙත් ස්වර්ගයෙහි දේවදූතයන් හා සමාන වෙති.
31 නුමුත් මළවුන්ගේ නැගිටීම සම්බන්ධව නම්: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි දෙවියන්වහන්සේ නුඹලාට කී බව නුඹලා කියෙවුවේ නැද්ද?
32 දෙවියන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේයයි කීසේක.
33 සමූහයෝ ඒ අසා, උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මපත්වූවෝය.
34 උන්වහන්සේ සද්දුසිවරුන් නිශ්ශබ්දකළ බව ඵරිසිවරු අසා, එකට රැස්වූවෝය.
35 ඔවුන් අතරෙන් ව්‍යවස්ථාව උගන්වන්නෙක් උන්වහන්සේ පරීක්ෂාකරමින්:
36 ආචාරිනි, ව්‍යවස්ථාවෙහි ඉතා උතුම් ආඥාව කොයි එකදැයි ඇසුවේය.
37 උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.
38 මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය.
39 මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය.
40 මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක.
41 ඵරිසිවරු රැස්ව සිටියදී යේසුස්වහන්සේ කථාකොට:
42 ක්‍රිස්තුස් ගැන නුඹලා කුමක් සිතවුද? උන්වහන්සේ කාගේ පුත්‍රයාදැයි ඇසූසේක. දාවිත්ගේ පුත්‍රයායයි ඔව්හු කීවෝය.
43 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: එසේවී නම් ආත්මයාණන් කරණකොටගෙන දාවිත් කථාකරමින්:
44 මා විසින් නුඹේ සතුරන් නුඹේ පාද යට දමන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳගන්නැයි ස්වාමීන්වහන්සේට මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි
45 මෙසේ දාවිත් උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේදැයි ඇසූසේක.
46 උන්වහන්සේට වචනයක්වත් කියා උත්තරදෙන්ට කිසිවෙකුට නුපුළුවන්විය, එදා පටන් උන්වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්ට කිසිවෙකුට ධෛර්ය තිබුණෙත් නැත.

මතෙව් 22;146

කල යේසුස්වහන්සේ සමූහයන්ටත් තමන් ගෝලයන්ටත් කථාකොට:
ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති.
එබැවින් ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වන්න. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.
එසේය, ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.
ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔව්හු තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති,
මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානයටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද,
වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද මනුෂ්‍යයන් විසින් රබ්බියි කියනු ලැබීමටද කැමතිවෙති.
නුමුත් නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය.
පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන්වහන්සේමය.
10 නුඹලා නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ නායකයාණෝ එක්කෙනෙක්මය. එනම් ක්‍රිස්තුස්වහන්සේය.
11 නුමුත් නුඹලා අතරෙන් ඉතා උත්තමයා නුඹලාගේ සේවකයා වන්නේය.
12 තමාම උසස්කරගන්න කවරෙක් නුමුත් පහත්කරනු ලබන්නේය; තමාම පහත්කරගන්න කවරෙක් නුමුත් උසස්කරනු ලබන්නේය.
13 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.
14 (14 වෙනි පදය මාර්ක් 12:40, ලූක් 20:47 යන තැන්වල බලන්න. )
15 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා එක්කෙනෙකු හරවාගන්න පිණිස මුහුදත් ගොඩත් හැමතැනම ඇවිදින්නහුය; හරවාගත්තාම, නුඹලාටත් වඩා දෙගුණයක් ඔහු නිරයේ පුත්‍රයෙකු කරන්නහුය.
16 අන්ධවූ මග පෙන්වන්නෙනි, නුඹලාට දුක්වේ! මක්නිසාද: යමෙක් දේවමාළිගාව ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් දේවමාළිගාවේ රන් ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.
17 අඥානයෙනි, අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? රන්ද? රන් විශුද්ධකළ දේවමාළිගාවද?
18 තවද: යමෙක් පූජාසනය ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් ඒ පිට තිබෙන පඬුර ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.
19 අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? පඬුරද? පඬුර විශුද්ධකරන පූජාසනයද?
20 එබැවින් පූජාසනය ගැන දිවුරන්නා ඒ ගැනද ඒ පිට තිබෙන සියල්ල ගැනද දිවුරන්නේය.
21 දේවමාළිගාව ගැන දිවුරන්නා ඒ ගැනද එහි වසන තැනන්වහන්සේ ගැනද දිවුරන්නේය.
22 ස්වර්ගය ගැන දිවුරන්නාද දෙවියන්වහන්සේගේ සිංහාසනය ගැනත් එහි වැඩ හිඳින තැනන්වහන්සේ ගැනත් දිවුරන්නේය.
23 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.
24 අන්ධවූ මගපෙන්වන්නෙනි, නුඹලා මදුරුවා බේරාදමා ඔටුවා ගිලගන්නහුය.
25 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා කුසලානද තැටියද පිටින් පවිත්‍රකරන්නහුය, නුමුත් ඇතුළේ ඒවා කොල්ල කෑමෙනුත් තෘෂ්ණාධිකකමෙනුත් පිරී තිබේ.
26 අන්ධවූ ඵරිසිය, කුසලානත් තැටියත් පිටින් පවිත්‍රවන පිණිස පළමුකොට ඒවායේ ඇතුළ පවිත්‍රකරන්න.
27 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ.
28 එසේම නුඹලාත් පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය, නුමුත් ඇතුළතින් වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්නහුය.
29 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා අනාගතවක්තෘවරුන්ගේ සොහොන් ගෙවල් සාදා, ධර්මිෂ්ඨයන්ගේ සොහොන් කොත් හරහා:
30 අපේ පියවරුන්ගේ කාලයේදී අපි සිටියෙමු නම් අනාගතවක්තෘවරුන්ගේ ලේ වැගිරීමට ඔවුන් සමඟ හවුල්කාරයෝ නොවන්නෙමුයයි කියන්නහුය.
31 මෙසේ නුඹලා අනාගතවක්තෘවරුන් මැරූවන්ගේ පුත්‍රයෝයයි නුඹලාම සාක්ෂිදෙන්නහුය.
32 නුඹලාත් නුඹලාගේ පියවරුන්ගේ මිම්ම පූර්ණකරන්න.
33 සර්පයෙනි, පොළොංවංශයෙනි, නුඹලා නිරයේ දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද?
34 එබැවින් මම අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ලියන්නන්ද නුඹලා ළඟට එවමි. නුඹලා ඔවුන්ගෙන් සමහරෙකු මරන්නහුය, කුරුසියෙහි ඇණගසන්නහුය; සමහරෙකුට නුඹලාගේ සිනගෝගවලදී තළා, ඔවුන් නුවරින් නුවරට එළවමින් පීඩාකරන්නහුය.
35 මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය.
36 සැබවක් නුඹලාට කියමි-මේ සියල්ල මේ පරම්පරාව පිටට පැමිණෙන්නේය.
37 අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.
38 බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ.
39 මක්නිසාද නුඹලාට කියමි: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාදලද්දේයයි නුඹලා කියන තෙක් මෙතැන් පටන් නුඹලා මා දකින්නේ නැතැයි කීසේක.

මතෙව් 23;139