Sinhala

කන්ද උඩ දේශනාව: මතෙව් 5-7

න්වහන්සේ සමූහයන් දැක කන්දට නැගුණසේක. උන්වහන්සේ හිඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය.
එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක-
සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.
ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය.
මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.
ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය.
දයාවන්තයෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය.
සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය.
සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.
10 ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.
11 මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය.
12 ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.
13 නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.
14 නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය.
15 මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.
16 එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
17 ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි.
18 සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය.
19 එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නුමුත් ඒවා පවත්වන්නාවූ, උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි උතුම්යයි කියනු ලබන්නේය.
20 මක්නිසාද නුඹලාගේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේද ඵරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වැඩි නොවීනම්, නුඹලා කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුයයි නුඹලාට කියමි.
21 මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ.
22 නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි* කියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, නුඹ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය. (* හෙවත් මෝඩයා‍)
23 එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්,
24 නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමඟිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න.
25 නුඹේ විරුද්ධකාරයා සමඟ පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමඟිවෙන්න; නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයාට භාරදෙන්නේය, විනිශ්චයකාරයා නුඹ සේවකයාට භාරදෙන්නේය, නුඹද හිරගෙයි දමනු ලබන්නෙහිය.
26 සැබවක් නුඹට කියමි: අන්තිම සල්ලිය ගෙවනතුරු නුඹ කිසිසේත් එයින් පිටවී නොඑන්නෙහිය.
27 කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ.
28 නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.
29 නුඹේ දකුණු ඇස නුඹට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම නුඹට යහපත.
30 නුඹේ දකුණු අත නුඹට බාධාකෙරේ නම්, ඒක කපා අහකදමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යාමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම නුඹට යහපත.
31 ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය.
32 මම නුඹලාට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.
33 බොරුවට නොදිවුරව, ස්වාමීන්වහන්සේට නුඹේ දිවුරුම් ඉෂ්ටකරවයි පුරාතනයන්ට කී බවත් නුඹලා අසා තිබේ.
34 නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත්,
35 පොළොව දෙවියන්වහන්සේගේ පාපුටුව බැවින් ඒක ගැනවත්, යෙරුසලම මහරජහුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරන්න.
36 එක හිසකෙසක් සුදුකරන්ටවත් කළුකරන්ටවත් නුඹට නොහැකි බැවින් හිස ගැනත් නොදිවුරන්න.
37 නුඹලාගේ වචනය: එසේය; එසේය කියාද: නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ.
38 ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ.
39 නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.
40 යමෙක් නඩු කියා නුඹේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට නුඹේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න.
41 යමෙක් එක හැතැප්මක් යන්ට නුඹට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් යන්න. නුඹෙන් ඉල්ලන්නාට දෙන්න,
42 නුඹෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.
43 නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව, නුඹේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ.
44 නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;
45 මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක.
46 නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද?
47 නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?
48 එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.

මතෙව් 5;1-48

නුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත.
එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.
නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා.
එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.
තවද නුඹලා යාච්ඤාකරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔව්හු සිනගෝගවලත් මංසන්ධිවලත් සිටගෙන යාච්ඤාකිරීමට සතුටුවෙති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.
නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාකදෙනසේක.
තවද යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති.
එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද නුඹලාගේ පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නාසේක.
එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:- ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.
10 ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.
11 අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.
12 අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව.
13 අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.
14 මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක.
15 නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරනසේක.
16 තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.
17 නුමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස,
18 නුඹේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.
19 පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති.
20 නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති.
21 මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.
22 ශරීරයේ පහන නම් ඇසය. එහෙයින් නුඹේ ඇස පැහැදිලි නම්, නුඹේ මුළු ශරීරය එළිය වන්නේය.
23 නුඹේ ඇස නපුරුනම්, නුඹේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරුනම් ඒ අඳුර කොපමණ මහත්ද!
24 ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.
25 එහෙයින් නුඹලාට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද?
26 ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?
27 කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද?
28 නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලුවන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත.
29 එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්වර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි.
30 මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද?
31 එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න.
32 මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක.
33 නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.
34 එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.

මතෙව් 6;1-34

ඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න.
මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.
නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද?
නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද?
වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහකරන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට නුඹට හොඳ හැටි පෙනෙන්නේය.
ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.
ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.
මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
නුඹලා අතරෙන් කවර මනුෂ්‍යයෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලන්නේ නම්, ඔහුට ගලක් දේද?
10 නොහොත් ඔහු මත්ස්‍යයෙකු ඉල්ලන්නේ නම්, ඔහුට සර්පයෙකුදේද?
11 මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නහු නම්, කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද?
12 එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.
13 පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය.
14 මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.
15 බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.
16 ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද?
17 එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි.
18 හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය.
19 හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ.
20 එබැවින් ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය.
21 ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.
22 ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත.
23 එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.
24 එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.
25 වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේය.
26 යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.
27 වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය.
28 යේසුස්වහන්සේ මේ වචන කියා නිමකළ කල්හි, සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය.
29 මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක.

මතෙව් 7;1-29