Sinhala

නික්මයාම 17:1-7

ශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.
එබැවින් සෙනඟ මෝසෙස් සමඟ විවාදකරමින්: අපට බොන්ට වතුර දෙන්නැයි කීවෝය. මෝසෙස්: ඔබ සැම මා සමඟ විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමීන්වහන්සේ පරීක්ෂාකරන්නහුදැයි ඔවුන්ට කීවේය.
එහිදී සෙනඟට වතුර පිපාසා විය; එහෙයින් සෙනඟ කථාකොට: අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසායෙන් මරවන්ට මිසරයෙන් අප කුමට ගෙනායෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය.
මෝසෙස් ස්වාමීන්වහන්සේට මොරගසා: මේ සෙනඟ ගැන කුමක් කෙරෙම්ද? ඔව්හු මට ගල් ගසන්ට මෙන් සෑදී සිටිතියි කීය.
එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඉශ්‍රායෙල් ප්‍රධානීන්ගෙන් සමහරුන් කැඳවාගෙන ගංගාවට පහරදුන් සැරයටියත් අතින් ගෙන සෙනඟට පෙරටුව යව.
බලව, මම හොරේබ්හි පර්වතය පිට එහි ඔබ ඉදිරියෙහි සිටිමි; ඔබ පර්වතයට ගසන්න, සෙනඟට බොන්ට වතුර එයින් නික්මෙන්නේයයි කීසේක. මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවෙහි එසේ කෙළේය.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විවාදය නිසාත් ස්වාමීන්වහන්සේ අප අතරෙහි ඇද්ද නැද්දැයි කියමින් ඔවුන් ස්වාමීන්වහන්සේ පරීක්ෂාකළ නිසාත් ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම් තැබුවේය.

නික්මයාම 17:1-7